පරිගණක ලොවේ පුරාවෘත්තයක් බඳු ස්ටීව් වොස්නියැක්


ස්ටීව් වොස්නියැක් ,… ශ්‍රී ලාංකේය සඳකඩ පහනට ඉතිහාසයේ හිමිවන්නේ යම් තැනක්ද, පරිගණක ලොවේ ඒ තැන
හිමිවන්නේ මේ අපූරු පුද්ගලයාටය . කෙටියන්ම පවසන්නේ නම් ස්ටීව් ජොබ්ස් හා රොනල්ඩ් වේයින් සමඟ එක්වී Apple
සමාඟම බිහි කරන්නට මූලික වූ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයා මොහුය.මෙවන් උත්කෘෂ්ට පුද්ගලයෙකුගේ දිවියට එබී
බැලීමෙන් අපට උගත හැකි දේ බොහෝ බව අමුතුවෙන් කිව යුතු නැත.



ස්ටීව් වොස්නියැක් උපත ලැබුවේ සිලිකන් මිටියාවතේ විසු ඉංජිනේරුවරයෙකුට දාවය. ඔහු කුඩා කල පටන්ම
විදුලි බුබුලක් ක්‍රියා කරන ආකාරය ,ට්‍රාන්සිස්ටරයක් යනු කුමක්ද ආදී ලෙසින් යම් යම් දේ ඉගෙනීමට
උනන්දු වූ අතර, පසුකාලීනව  ඔහු පැවසුවේ එවන් දේ ගැන දැනුමක් තිබීම , තමන් අනෙකුත් ළමයින්ගෙන්
වෙනස් අයෙකු ලෙස දැනෙන්නට හේතු වූ බවය. එනම් ඔවුන් නොදන්නා රහස් රැසක් තමන් දන්නා සෙයක්
ඔහුට දැනී තිබුණි. සත්‍ය  වශයෙන්ම එය ඕනෑම දරුවකුගේ පෞරුෂත්වය පමණක් නොව දැනුම මෙන්ම
හැකියාවද ඔප නංවන්නට හේතුවන බව අවංක අදහසයි. දරුවකු පාසලේ හෝ නව පරිසරයකට පැමිණි විටදී,
ඒ පරිසරයේ ඇති දරුවා මෙතෙක් නොදුටු දේ ගැන ඔහු /ඇය ප්‍රශ්න නඟන විට ඒවාට පිළිතුරු නොදී සිටීම
නොකළ යුතුය. එසේම ඔවුන්ට එම පරිසරයේ ඇති නව දේ අත්විඳින්නට සැලැස්විය යුතුමය. මන්ද යත්
ඔවුන් ඉගෙන ගන්නේ එවන් දෑ වලින් බැවිනි.


වයසින් වැඩෙත්ම වොස්නියැක්ගේ මනසට කා වැදී තිබු දෙයක් වූයේ මෙලොව යම් දෙයක් වෙනස් කරන්නට ,
යම් නව දෙයක් බිහි කරන්නට හැකියාව ඇත්තේ  ඉතාම සුළු පිරිසකට බවත්, ඒ සුළු පිරිසෙන් එක් පුද්ගලයෙකු
තමන් වන බවත්ය. ඔහු පවසන පරිදි මෙම ධනාත්මක චින්තනය අද ඔහු මේ තැනට එන්නට සහය වූ ප්‍රධානතම
කාරණයයි. ඔහුට හැමවිටම අවශ්‍ය වී තිබුනේ  සිය මිතුරු ස්ටීව් ජොබ්ස් සමඟ එක් වී තාක්ෂණය වීරයන් සේ
සලකන ලෝකයක් ගොඩනැඟීමයි. හැමවිටම ධනාත්මක මෙන්ම, තමන් ගැන උසස් ලෙස සිතීම ජීවිතයේ
ඉහල තැනකට ඒමට උපකාර වන බව මෙයින් පැහැදිලි වේ.


"නිර්මාණකරණය බිහිවන්නේ  ඔබ මෙතෙක් දන්නා දෙයක් හෝ මේ වන විටත් ඔබ කරමින් සිටින දෙයක්
සම්බන්ධව නොවේ. එය බිහිවන්නේ මෙතෙක් ඔබ නොඇසූ නොදුටු දෙයක් ගොඩනැඟීමෙනි." මේ ස්ටීව්
වොස්නියැක් මහතාගේ වදන්ය. කුඩා කාලයේදී building blocks ආධාරයෙන් අහඹුව ගොඩ නැංවූ යම්
වස්තුවක් මඟින්  ඔබ විස්මයට මෙන්ම ප්‍රීතියට පත්වූ සැටි ඔබට මතක ඇති. නව නිර්මාණයක් යනු එවැන්නකි.
එය ඔබ නිතර දෙවේලේ දකින අසන දෙයක් නොවේ. ඔබේ මනසට පමණක් සීමා වූ දෙයක් භෞතික ලෙසින්
මේ ලෝකයටද දකින්නට සැලැස්වීම නිර්මාණකරණයයි.


ඔබ නිර්මාණය කරන දේ ඔබට අගයක් නැතිනම්, වෙනත් අයටද අගයක් නොවන බව වොස්නියැක්  මහතාගේ
අදහසයි. ඔබ කල දේ අගයන්නට ඔබට හැකියාව තිබිය යුතුය. එය හොඳ නිර්මාණයක් ලෙස සලකන්නට ඔබ
මැලි වේ නම්, එදෙස බලන අයටද හැඟෙන්නේ එය කිසිඳු වටිනාකමකින් තොර එකක් ලෙසය. ඔබ නිර්මාණය
කල දේ ගැන ඔබ විස්මයානුකූල මෙන්ම සතුටුදායක ඇසින් බැලිය යුතුය. එය නිර්මාණය කිරීම ගැන ඔබ ඔබටම
ප්‍රශංසා කල යුතුය. ස්ටීව් ජොබ්ස්ගේ iPhone දුරකථනය , වොසොනික්ගේ Apple II පරිගණකය ඔවුන්
එසේ තමන් විසින්ම නිපදවා ඒ ගැන තෘප්තිමත්ව කතා කරන නිර්මාණ අතුරින් සමහරකි.


එසේම මුදල්මය බලාපොරොත්තු පෙරදැරි කරගෙන නිර්මාණකරණය කිරීම පලක් නැත. මන්ද යත් එවිට ඔබගේ
මනසේ පවතින්නේ මෙම නිර්මාණය කළහොත් ඔබට මුදල් කන්දරාවක් හිමිවනු ඇතැයි යන සිතුවිල්ල මිසක් පෙර
පැවසු විස්මය පිරි සතුට නොවේ.


නිර්මාණයක් පිළිබඳව අදහස කොලයකට පමණක් සීමා නොවිය යුතුය යන්න වොස්නියැක්  මහතා ඉතාම ගැඹුරින්
විශ්වාස කරන්නකි. එය කොලයෙන් අක්රි්ය අනුරුවටත්, ඉන්පසුව එම සංකල්පය වැඩ කල හැකිය යන්න ඔප්පු
කරවන අනුරුවකටත්, අවසානයේ සම්පූර්ණ කරන නිර්මාණය බවටත් දියුණු කල යුතුය. මුදල් ආදිය ගැන සිතිය
යුත්තේ ඒ සේරම අවසානයේදී පමණකි. Apple සමාඟමේ යම් නව නිර්මාණයක් බිහි කරන විටදී සියලුම
ඉංජිනේරුවරු එක්රැස් වී ඉහත ආකාරයට කටයුතු කල බව වොසොනික් මහතා පවසයි. එවන් අනුරුව ආදිය
කොලයේ කටු ගෑ සංකල්පය සම්පූර්ණ සාර්ථක නිර්මාණයක් තෙක් යන ගමනේදී විය හැකි අතපසුවීම් මෙන්ම
ගැටළුද මඟ හරවන බව ඔහු අත්දැකීමෙන්ම ප්‍රකාශ කරයි.


වොස්නියැක්  සිය මිතුරු ස්ටීව් ජොබ්ස් සමඟ කටයුතු කරන්නට ඇරඹු මුල් සමයේදී ඔවුන්ට Atari සමාඟම සඳහා
නව වීඩියෝ game එකක් නිර්මාණය කරන්නට ලැබී ඇති අතර, ස්ටීව් ජොබ්ස් මහතා ඔවුන්ට ඒ සඳහා ගෙවන මුදල
පිළිබඳව යම් බොරුවක් පවසා ඇත. එනම්, වොසොනික්ට වඩා වැඩි මුදලක් ස්ටීව් ජොබ්ස්ට මේ ව්‍යාපෘතිය
සම්බන්ධයෙන් ගෙවන බව ස්ටීව් ජොබ්ස් ඔහුට පවසා නොතිබුණි. සිය මිතුරා තමන් සමඟ අවංක නොවීම
තරුණ වොසොනික්ගේ සිත  රිදවන්නට සමත් වුවත්, එය මහත් ප්‍රශ්නයක් බවට පත් කරගන්නට ඔහු
උත්සුක නොවිණි. ඔහු ඒ වෙනුවෙන් ස්ටීව් ජොබ්ස්ට සමාව දුන් අතර, එය ඔහුගේ මහත්මා ගුණය මනාව
ප්‍රකට කරන්නකි.


වොස්නියැක්  මහතා තමන්ට ඇති පරිගණකමය ගැටළුවක් ගැන සිතමින් නින්දට ගිය බොහෝ අවස්ථාවන් වලදී,
එයට විසඳුමක් ලෙස සිතිය හැකි යම් කාරණයක් සමඟින් රාත්‍රීය මැද අවදි වන්නට හුරු වී තිබුණි. ඔහු එම
අදහස් එවෙලේම කොලයක සටහන් කරගත් අතර, ඒවා ඇතැම් විට නිවැරදි මෙන්ම, වැරදෙන අවස්ථාවන්ද
අනන්තව තිබුණි. නමුත් ඔහු පවසන්නේ ඒවා ගැන යම් විශ්වාසයකින් සිටිය යුතු බවයි. සිහිනෙන් සිතු
දෙයකැයි ඒවා නොසලකා හැරීම ඇතැම් විට ඔබගේ නිර්මාණය එලි දක්වන්නට ගතවන කාලය තව
දුරටත් වැඩි කරන්නට හේතුවන බව ඔහුගේ අදහසයි.


"ඕනෑම නිර්මාණයක් හැකි සරලම ආකාරයෙන් ඉදිරිපත් කල යුතුය" වොස්නියැක්  පවසයි. යම් නිර්මාණයක්
බිහි කල පසුව එයට මිල නියම වන්නේ සිය මහන්සියත්, යොදා ගත ද්‍රව්‍ය වල වටිනාකමක් කැටි කර
ගෙනය. එහෙයින්  බොහෝ අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කල විට එය පාරිභෝගිකයාට ගත හැකි
මිලකට දීමට අපහසු බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම, අමුද්‍රව්‍ය අවම වන තරමටම නිෂ්පාදනය
සරල වනවා සේම, එහි අගය ද ඉහල යයි. වොසොනික් මහතා පැරණි Apple පරිගණක වලදී මේ
සංකල්පය ඉතාම තදින් ක්‍රියාත්මක කළේය. එනම්, පරිගණක වලට යොදාගන්නා චිප් පත් ආදිය
හැකිතාක් අඩු කර, ඔවුන් බලාපොරොත්තු වන හැකියාවන් සහිත නිර්මාණයම බිහි කිරීමට ඔහු උනන්දු වුහ.
එමඟින් අමුද්‍රව්‍ය ඉතිරි වන අතර, පසු නිර්මාණ ව්ලාට ඒවා යොදාගැනීමේ හැකියාවද ඔහුට ලැබුණි.
වොස්නියැක්  මහතා හැමවිටම විනෝදයෙන් සිටින්නට තැත් කල අයෙකි. ඔහු විද්‍යාලයීය අධ්‍යාපනය
ලබන කාලයේදී සිය තාක්ෂණික හැකියාව හා දැනුම යොදා ගනිමින් නේවාසිකාගාරයේ රූපවාහිනී සංඥා
අවහිර කරන්නට සමත් විය. එසේම පසුව ඔහු dial-a-joke phone line නොහොත්, දුරකතනය
අමතා විහිලු කල හැකි ක්‍රමයක් ආරම්භ කළේය. ඒ පිළිතුරු දීමේ යන්ත්‍රයක් (answering machine)
කුලියට ගනිමිනි. සතුට සඳහා වන ගණිතමය සංකල්පයද ඔහු නිර්මාණය කළේය. ඒ H = S – F ලෙසය.
එනම් , Happiness (සතුට) = Smiles (සිනහව) - Frowns (රැවුම් ගෙරවුම්) ඉංජිනේරු
ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් මනස නිරවුල්ව ආතතියෙන් තොරව පැවතිය යුතු බව හෙතෙම හැමවිටම
පැවසුවේය.
පරිගණක ලොවේ පුරාවෘතයක් බඳු මොහු සැබවින්ම තරුණ මහලු භේදයකින් තොරව අප සැමකෙනෙකුටම
විශාල ආදර්ශයක් ගත හැකි චරිතයකි. දැනුමෙන් මුවහත් වත්ම, ජනප්‍රියත්වය තමන් හඹා එත්ම,
මුදලින්ද අඩුවක් නොවන කල්හි පුහු මාන්නයෙන් ඉදිමී "මහත්වරු" තත්ත්වයේ සිට "මහත්හොරු"
තත්ත්වයේ වැඩ කරන්නට පෙළඹෙන බොහෝ අයට වොස්නියැක්  මහතාගේ දිවියෙන් උගත හැකි දේ
බොහෝය.

Comments