ඔබ මියගිය කල, online ගිණුමට යන කල,...

ඔබ මියගිය කල, online ගිණුමට යන කල,...


ලාංකිකයන් වශයෙන් අප සමාජ ජාලයන්හි ඇසුර ලැබීම  Facebook හා  Twitter වැනි  වෙබ් අඩවි  වලට සීමා වුවත්, 
ලොව පුරා බොහෝ ජනතාව මෙම සමාජ දෙක පමණක් නොව, MySpace , Pinterest , Tumblur වැනි බොහොමයක් 
වෙබ් අඩවි වල සාමාජිකයන් වෙති. ඔවුන්  එදිනෙදා දිවියේ වන දෑ පිළිබඳව සිය මිතුරන් සමඟ බෙදා හදා ගැනීමට මෙන්ම, 
දුරින් සිටින නෑ සිය මිතුරන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට ද මෙවන් සමාජ වෙබ් අඩවි භාවිතා කරති. 
 සාමාන්‍යයෙන් අපි අපගේ පෞද්ගලිකත්වය රැකගැනීමට සැම විටම කටයුතු කරමු. එසේම අනෙක් අයගේ 
පෞද්ගලිකත්වයට ගරු කරන්නටද පෙළඹෙමු. අප සමාජ ජාල වලට ඇතුල් වීමට භාවිතා කරන පරිශීලක නම් / 
විද්‍යුත් ලිපින හා  මුරපදයන් වෙනත් අයෙකුගේ අතට නොදෙන්නෙත්, වෙනත් අයෙකුගේ මෙම දත්ත 
උදුරාගන්නට තැත්  නොකරන්නේත් එබැවිනි. නමුත් මෙය ගැටළුවක් බවට පත්වන්නේ එවන් කෙනෙකු මිය 
ගිය පසුය. මිය යාමෙන් පසුවද අදාළ පුද්ගලයාගේ සමාජ ජාල ගිණුම් පැවතීම එක්තරා ආකාරයකට ප්‍රශ්නයක් 
බවට පත්වේ. මෙවන් අවස්ථාවකදී ප්‍රයෝජනයට ගනු පිණිස කෙනෙකුගේ login වීමේ දත්ත තවත් 
කෙනෙකු වෙත විශ්වාස කර ලබා දෙන ලෙස නියෝගයක් හෝ ඉල්ලීමක් කිරීම අසාධාරණ හෙයින්, 
මරණයෙන් පසුව එවන් ගිණුම් වලට කල යුතු දේ පිළිබඳව වර්තමානය වන විට බොහෝ වෙබ් අඩවි හා 
සමාජ ජාල අඩවි සිය සාමාජිකයන්ව දැනුවත් කරමින් පවතී.


මිය ගිය පුද්ගලයාගේ ගිණුම රපොර්තු කිරීම.

 Facebook වෙබ් අඩවිය භාවිතා කරන කෙනෙක්ට ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග 2ක් වේ.  
එකක් නම් , මියගිය පුද්ගලයාගේ ගිණුම අනුස්මරණ පිටුවක් (memorialized page) බවට පත් කිරීම 
කල හැකිය. එනම්, Facebook එවන් ගිණුම් සක්‍රීයවය පරිශීලකයන්  ලෙස නොසලකන අතර, වෙනත් 
අයෙකුට එය තුලට අනවසරයෙන් ඇතුල් වන්නට නොදී, මිය ගිය පුද්ගලයාගේ ගෞරවය රැකෙන පරිද්දෙන් 
පවත්වා ගන්නට කටයුතු කරයි.
මෙවැන්නක් සිදු කිරීමට  , අදාළ මිය ගිය අයගේ මිතුරෙකු හෝ පවුලේ අයෙකු විසින් Memorialization 
Request නමින් හැඳින්වෙන ඉල්ලුම් පත්‍රයක් පුරවා Facebook වෙත යැවිය යුතුය. එහිදී ඔවුන් එම මිය 
ගිය අයගේ මරණය ඔප්පු කල යුතුය. ඒ සඳහා ඔහුගේ/ඇයගේ මරණය සම්බන්ධ පුවත්පත් දැන්වීමක් හෝ 
මරණ දැන්වීමක් යැවිය හැකි අතර, අදාළ සාක්ෂි ලද විට Facebook විසින් අදාළ පාර්ශවයේ ගිණුම 
අනුස්මරණ පිටුවක් බවට පරිවර්තනය කරනු ඇත. මේ හැරුණු විට මිය ගිය පුද්ගලයාගේ ගිණුම වසා දමන 
ලෙස Facebook වෙත ඉල්ලීමක් කල හැකි අතර, එමඟින් එම අදාළ ගිණුම Facebook තුලින් ඉවත් 
වනු ඇත. Facebook මෙම ඉල්ලීම පිළිගන්නේ මියගිය පාර්ශවයේ ලඟම නෑයෙකු ගේ ඉල්ලීමකින් 
පමණි. "Special Request for Deceased Person's Account" යන ඉල්ලුම් පත්‍රය 
පුරවා Facebook  වෙත යැවීමෙන් මෙය සිදු කල හැකිය.

මියගිය පාර්ශවයේ Google හෝ Gmail ගිණුමට ඇතුලත්

Google මෙවන් අවස්ථා වලදී අදාළ මිය ගිය අයගේ Google හෝ Gmail ගිණුමට  දත්ත වලට ඇතුල් වීමට අවසර 
ලබා දිය යුතුයයි කිව හැකි විශ්වාසවන්ත පාර්ශවයක් සඳහා , එම මිය ගිය අයගේ ගිණුම් වල විස්තර ලබා දෙති. 
නමුත් එසේ ඒ අයගේ ගිණුම් වලට ඇතුලත් වීමට එය ප්‍රමාණවත් වේ යැයි නිශ්චිතම කිව නොහැකිය. 
මෙහිදී පළමුවෙන්ම ඔබ කල යුත්තේ මිය ගිය පාර්ශවයේ මරණ සහතිකය හා ඔබගේ අනන්‍යතාවය තහවුරු 
වන ලේඛන හා ලියවිලි පිටපත් Google වෙත විද්‍යුත් හෝ fax  පණිවිඩයක් ලෙසින් යැවීමයි. එම ලේඛන 
ආදිය පිරික්සා බලන Google, අනතුරුව ගත යුතු පියවරයන් ගැන ඔබව දැනුවත් කරනු ඇත.
2013 වසරේ අප්‍රේල් මසදී Google මෙයට වඩා පහසු හා ප්‍රායෝගික ක්‍රමයක් සිය පරිශීලකයන් වෙත 
හඳුන්වා දුනි. Inactive Account Manager නම් මෙය ජීවත්ව සිටින කාලය තුලදීම, තමන්ගේ හදිසි 
මරණයක් හමුවේදී  සිය Google හා Gmail ගිණුම් වලට කල යුතු දේ පිළිබඳව අදහසක් ලබා දීමට පරිශීලකයන් 
හට ඉඩ ලබා දෙන්නකි.

මිය ගිය අය ගැන Twitter වෙත දැනුම් දීම.

තමන් හා මිය ගිය අය අතර වූ සම්බන්ධතාවය ගැන සලකමින් එම මිය ගිය පාර්ශවයේ Twitter ගිණුමට 
ඇතුලත් වීමේ කිසිඳු අවසරයක් ඔවුන් ලබා නොදෙන බව Twitter ඉතා පැහැදිලිව දක්වා ඇත. නමුත්, 
එම මිය ගිය අයගේ පවුලේ සාමාජිකයෙකුගේ ඉල්ලීමක් සලකා එම ගිණුම අක්‍රීය කරන්නට Twitter
එකඟ වේ.
මේ සඳහා Twitter වෙත ඔබ එම මිය ගිය අයගේ පරිශීලක නාමය, මරණ සහතිකයේ හා රජයෙන් නිකුත් කල 
හැඳුනුම් පතේ පිටපත් ඇතුළුව වෙනත් දත්ත කිහිපයක්ම ලබා දිය යුතුය. මේවා විද්‍යුත් හෝ fax පණිවිඩයක් 
සේ යැවිය හැකි අතර, ඒවා සලකා බැලීමෙන් පසුව  Twitter එම මිය ගිය පාර්ශවයේ ගිණුම අක්‍රීය 
(deactivate) කරනු ඇත.

මිය ගිය පාර්ශවයේ Pinterest ගිණුම අක්‍රීය කිරීම.

Pinterest කිසිඳු විටෙක මිය ගිය පාර්ශවයක login දත්ත ඔහුගේ/ඇයගේ පවුලේ හෝ වෙනත් අයෙකුට 
නිකුත් නොකරනු ඇති නමුත්, අදාළ ගිණුම අක්‍රීය කරන්නට අවසර ලබා දේ. මේ සඳහා එම මිය ගිය අයගේ 
මරණය සහතික කල හැකි සාක්ෂි ඉදිරිපත් කල යුතුය. එනම් මිය ගිය අයගේ මරණ සහතිකයේ පිටපතක් හා 
ඔහුගේ/ඇයගේ මරණ දැන්වීමේ හෝ ඒ පිළිබඳව වන පුවත්පත් දැන්වීමක පිටපතක් Pinterestවෙත 
යැවිය යුතු අතර, ඒවා සැලකිල්ලෙන් සලකා බලා එම මිය ගිය පුද්ගලයාගේ Pinterestගිණුම අක්‍රීය 
කරන්නට ඔවුන් කටයුතු කරනු ඇත.

මිය ගිය පාර්ශවය පිළිබඳව Instagram වෙත දැනුම් දීම.

Instagram හි පෞද්ගලිකත්වය පිළිබඳව දැක්වෙන වගන්තියේ (privacy statement) සඳහන් වන්නේ 
Instagram ගිණුමක් පවත්වාගෙන ගිය වර්තමානය වන විට යම් මිය ගිය පාර්ශවයක් වේ නම්, 
ඒ සම්බන්ධ ගැටලුවකදී Instagram ආයතනයට ඒ ගැන දැනුම් දෙන ලෙසය. එවන් අවස්ථාවකදී විද්‍යුත් 
පණිවිඩ මඟින් එම සන්නිවේදන කටයුත්ත කල හැකිය.
Facebook තුල ඇති ආකාරයටම මෙහිදීද ඒ සඳහා ලබා දී ඇති ඉල්ලුම් පත්‍රය පුරවා අදාළ මරණය පිළිබඳව 
සත්‍යතාවය පැහැදිලිව දැක්වෙන සාක්ෂිද සමඟ Instagramවෙත යැවිය යුතුය.

PayPal ගිණුමක් වසා දැමීම.

PayPal යනු මුදල් සමඟ ගනුදෙනු වන ගිණුමක් හෙයින් ඉතාම තද නීති රීති මාලාවක් මෙවන් කටයුත්තකදී දායක 
කරගැනේ. මෙහිදී මිය ගිය පුද්ගලයාගේ PayPal ගිණුම වසා දමන ලෙස ඉල්ලුම් කරන ලිපියකුත්, 
මරණ සහතිකයේ හා මේ සඳහා ඉදිරිපත් වන පුද්ගලයා සහ මිය ගිය අයගේ තිබු සම්බන්ධතාවය ඔප්පු 
කරන නීතිමය ලිය කියවිලි ආදිය ද අන්තර්ගත කරන ලද ෆැක්ස් පණිවිඩයක් PayPal වෙත යැවිය යුතුය.
PayPal මේ පිළිබඳව ඉතා විමසිලිවත්ව විමසා බලන අතර, ගැටලුවක සේයාවක් නොමැති නම්, 
එම අදාළ ගිණුම වසා දමනු ඇත. මෙහිදී ගිණුමේ ඉතිරි වී ඇති මුදල් මෙන්ම , මිය යාමට පෙර එම
පුද්ගලයා කරන ලද ගෙවීම් ආදිය නිරවුල් කිරීමද කරනු ලැබේ.මරණය අප සොයා එන නිශ්චිත දිනයක් හෝ මොහොතක් නැත. නමුත්, සිය දේපල පවරා දෙන්නට අන්තිම 
කැමති පත්‍රය ලියන ආකාරයටම වර්තමානයේදී සිය online ගිණුම් වලට යන කල දසාව ගැනද කල්පනා 
කිරීමද වැදගත්ය. එයින් කියවෙන්නේ මරණය අත ළඟය යනුවෙන් අසුභවාදිව සිතන ලෙස නොවේ.
ජීවිතය ගැන යතාර්ථය අවබෝධ කරගන්නා ලෙසය.

Yahoo ගිනුමක අයිතිකරු මිය යාමේදී කල යුතු දේ

යම් මිය ගිය පාර්ශවයකගේ ගිණුමේ අන්තර්ගතයන් වලට ඇතුලත් වීමට Google ඇතැම් විට අවස්ථාවක් ලබා 
දුන්නද, Yahoo මේ සම්බන්ධයෙන් ඉතාම තද මතයක් දරා සිටියි. ඔබට මිය ගිය පරිශීලකයෙකුගේ  Yahoo 
ගිණුමක් ගැන දැනුම් දෙන්නට අවශ්‍ය නම්, එය විද්‍යුත් හෝ ෆැක්ස් පණිවිඩයක් මඟින් Yahoo වෙත 
යැවිය හැකි අතර, එහිදී එම මිය ගිය අයගේ Yahoo පරිශීලක නාමය මෙන්ම, ඔහු/ඇය වෙනුවෙන් 
පෙනී සිටීමට තමන්ට අවසර ඇති බව පෙන්වීම සඳහා ප්‍රමාණවත් සාක්ෂිද ඉදිරිපත් කල යුතුය. 
එසේම මිය ගිය පුද්ගලයාගේ මරණ සහතිකයේ පිටපතක්ද මෙහිදී යැවිය යුතුය.


Comments