වැරදියට ෙත්රැමි ගත් ගීත

මේ සින්දුවට මුල් වෙන්නේ සීතාවක ඇති ජන කවියක් කියලා රංග වීරක්කොඩි පෙන්නලා දුන්නා. ඒ කවිය තමයි.

රා රා රා බොම්බියේගුරුබැවිලේ හන්දියේ

සුද්දෝ එනව නංගියේ දොර වහපන් බොන්ඩියේ මේ කවියෙන් අදහස් වෙන්නේ ඒ කාලයේ රට පාලනය කළ සුද්දන්ගෙන් කරදරයක් නො වෙන්න ගෑනු උදවියට පරිස්සම් වෙලා ඉන්න කියන එක වෙන්න පුළුවන්. හැබැයි සුනිල් සරත් පෙරේරා මේ සින්දුව ලියලා තියෙන්නෙත් ඊට සමාන අර්ථයකින්. අද අප්‍රේල් මාසේ එන සිංහල අවුරුද්දට වඩා ජනවාරි මාසේ එන බටහිර ඉංග්‍රීසි ක්‍රමයේ අලුත් අවුරුද්ද සමරන එක අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම සාමාන්‍ය දෙයක් වෙලා. සුනිල් සරත් පොඩි කාලේ හිටපු කිරිල්ලපොනේ පෙදෙසේ නත්තල් සමයට හා ජනවාරි අලුත් අවුරුද්ද කාලෙට ගෙයින් ගෙට පැමිණ ගීයක් ගායනා කරන වීදි නාට්‍ය කණ්ඩායම් වලට සමාන කණ්ඩායම් තිබුණා ලු. ඔවුන්ගේ පැමිණීම බොහෝ විට සිදු වෙන්නේ ගොම්මන් අඳුර පැතිරී මඳ වේලාවකින් හෝ තරමක් රෑ බෝ වෙලා. මේ පිළිබඳ උපාලි සමරසිංහ ‘පිලේ පැදුර’ කියලා වෙබ් සටහනක තියෙන්නේ “සුනිල්ගේ පියාගේ නිවසට පැමිණෙන මේ කණ්ඩායම මෙවැනි ගීයක් ගයයි. අඳුර කපා දුබල එළියක් විහිදන පැට්‍රෝමැක්ස් එළියෙන් විච්චූර්ණ ඇඳුම් පැලඳුම් හැඳි තොප්පි ලා ගත් පිරිස සුනිල්ට පෙනෙයි" කියලා. මේ සින්දුව ගැන සුනිල් එදිරිසිංහ මහත්තයාට දුරකතනයෙන් කතා කරලා විස්තරය ඇහුවාම එතුමා කිව්වේ සුනිල් සරත් පෙරේරා වගේම ඔහු කුඩා කාලයේත් ඒ පැතිවල (කැලණියේ වෙන්නැති කියලා හිතනවා) තිබුණා ලු ජනවාරි මාසේ අලුත් අවුරුද්දට කියන බයිලා විශේෂයක්. වීදි නාට්‍ය කණ්ඩායම් වගේ දේවල් ඇවිල්ලා පෘතුගීසි කපිරිඥඥා තාලයට කියන මේවට කිව්වේ "ජනේරු බයිලා" කියල ලු. උදාහරණයක් විදියට එතුමා ගායනා කළා ඒ කාලේ තිබුණු කපිරිඥඥා කෑල්ලක්. “සනී සනී අර බලපන් මම්මා නටනවාඔව් පප්පා මං දැක්කා සාය වැනෙනවා” ඉහත වෙබ් සටහනේ පලවින්නගේ නන්දනපාල කුමාරණතුංග කියූ දෙයක් ලෙස සටහන් වෙලා තිබුණු පහත කවියෙනුත් ජනේරුවේ අවුරුද්ද ගැන තහවුරු වෙනවා. “නත්තල් ජනේරු වෙත - ළං වෙන හිරු කොහොම කොහොම - පසු කරමු ද මෙදා ජනේරු” මේ ගීතයේ සිංහල අවුරුද්ද හෝ ජනේරුවේ අවුරුද්ද ගැන ඍජු සටහනක් නැතත් දිනාලි පෙරේරා කියන්නේ එයාට මේ කියන්නේ සිංහල අවුරුද්ද නෙමෙයි කියලා හිතන්න පුළුවන් පහත යෙදුම් නිසා කියලා. "මුවා වෙයන් නංගියේ.. මුවා වෙයන් මල්ලියේ" කියලා කියන්න නම් නංගීට මල්ලිට හැංගෙන්න කියන්නේ මේ කියන අවුරුද්ද තුළ කුමක් හෝ නරක හෝ විකෘති දෙයක් නිසා නේද. ඒ වගේම "ජපන් මැන්ඩලින් නද කර අවුරුදු එයි හන්දියේ" කියන කොට සිංහල අවුරුද්දට රබන් නාදය මිස "ජපන් මැන්ඩලින් " නාදයක් එන්න විදියක් නෑනේ. ඒ විතරක් නෙවෙයි අවුරුදු හන්දියේ විතරක් තියෙන්නත් බෑනේ. "කාලයෙන් කාලයට කියවෙයි නෙක නෙක බයිලා, දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා" යනුවෙන් දෙස බස රැස රැක ගැනුමට වැඩ කරපල්ලා කියන්නේ මේ අමුතු අවුරුද්දෙන් ඒවාට හානි වෙන නිසා වෙන්න ඇති. මේ ගීතයෙන් කියවෙන්නේ ජනේරුවට අවුරුදු එනවා කියලා අපි උජාරුවට ලෝකයට පරකාසේ කිව්වත් ඒ එන එන හැම දෙයක් ම අපේ දේශයට අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නෑ. වෙනත් විදියකට කියනවා නම්  “දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ". ඒ නිසා අපි පිට රටින් එන ඕනෑම දෙයක් බාර අර ගෙන ලන්දේසි ඉංග්‍රීසි පට්ටම් තනතුරු ගහ ගෙන ඉන්නේ නැතිව, කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ කියලා ඒවා ප්‍රතික්ෂේප කරලා මේ අලුත් පුරුදු කරන්නන් වාලේ කරන්නේ නැතිව හොඳ සිහි නුවණින් තෝරලා බේරලා ගන්න කියන එක තමයි කියන්නේ. ඒ වගේම කාලයෙන් කාලයට එන මෝස්තරයක් ලෙස ඒ කාලයේ හඳුන්වපු ජනවාරියට අවුරුදු සැමරීම වගේ "කාලෙන් කාලෙට කියවෙන නෙක නෙක බයිලා” වලට සිහිකල්පනාවෙන් ප්‍රතිචාර දක්වලා අපේ “දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා" කියන එක තමයි සුනිල්ලා දෙන්නා අපට කියලා තියෙන්නේ. අන්තිමට සුනිල් එදිරිසිංහ මහත්මයා කිව්වේ සින්දුවේ වචන වලට හොඳින් ඇහුම් කන්දීලා ඒ වචන වල අර්ථය මොකක්ද කියලා නො හිතන සමහර ගීත රසිකයින් "අවුරුදු එයි හන්දියේ" කියන වචනය විතරක් අල්ලා ගෙන මේ සින්දුව සිංහල අවුරුදු කාලයට කියනවා කියලා. සුනිල් කිව්වේ අඩුම ගණනේ මේ සින්දුව ජනවාරි අලුත් අවුරුද්දට වත් කියනවා නම් කමක් නෑ කියලා. මම වැඩි සද්දයක් නැතිව හිටියේ මමත් එතුමා කියපු ගීතයේ වචන ගැන අවධානයක් යොමු නො කරන රසිකයෝ ගොඩට ම නේද වැටෙන්නේ කියලා කල්පනා වුන නිසා. හැබැයි මට හිතුණේ සුනිල්ලා දෙන්නා කියන “ජනේරුවේ අවුරුද්ද” හෝ “ජනේරු බයිලා” ගැන පසුබිම මී ගීතය ඇසූ පමණින්ම ඊට පසු පරම්පරාවකට අයත් අපට කෙළින්ම නො වැටහුනත් ඔවුන් කියන්නට අදහස් කළ මුලික පණිවුඩය ඒ කියන්නේ “කාලයෙන් කාලයට කියවෙයි නෙක නෙක බයිලා හෙවත් මෝස්තර හැම එකක් ම දේසේ හැටියට නොවන නිසා, අලුත් පරම්පරාවේ නංගීලාට මල්ලිලාට ඒවායින්  මුවා වෙලා, දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා” කියන එක නම් අපි වගේ ඕනෑම මෝඩ මීහරකෙකුට (ඔය වචනය ඉගෙන ගත්තේ කැලණිය පැත්තේ දුටුගැමුණු කෙනෙකුගෙන්) තේරෙන නිසා මේක ජනවාරියට ගැයුවත් සිංහල අවුරුද්දට ගැයුවත් අහන අයට අවශ්‍ය මූලික පණිවුඩයේ නම් යනවා කියලා.


*******************************************************************************

දන්නෝ බුදුන්ගේ' ගීතය බුදු ගුණ ගීයක් නොවන බව මෙහි සඳහන් වුණා.මෙය වැරදි අදහසක්. එහි මතුපිට ඇත්තේ පුර වැනුමක් බව ඇත්තයි. එත් ඒ පුර වනුමේ වචන අතර තෙරුවන් ගුණ බොහෝ සෙයින් කියවෙනවා. "බුදු ගුණ ගීයක් යනු : ඍජුවම බුදු ගුණ සහ බුදු ගුණ පමණක්ම වර්ණනා කරන ගීයක්ය" යි නීතියක් නැහැ. ගීත රචකයෙකු ට බුදු ගුණ හෝ තෙරුවන් ගුණ වර්ණනා කිරීම මෙවන් ගීතයකින් වඩාත් සිත්ගන්නා සුළු ආකාරයෙන් කල හැකියි. එය දක්ෂ ගීතරචකයෙකුගේ ලක්ෂණයක්.

Comments